Saturday, February 27, 2016

01).අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ දැනුම ගුරුවරයෙකුට
-සිසුන් හඳුනාගැනීමට
-ගුරු    භූමිකාව වැඩිදියුණු කර ගැනීමට  උපකාරී වන ආකාරය
          විශ්ව ව්‍යාපී වූ චින්තාවන් බිහි වන්නේ ද ලෝකය දිනෙන් දින නැවුම් මානයන් කරා ගෙනයන නිමැවුම් බිහිවන්නේ ද මිනිස් චින්තාවන් මුල් කොටගෙනය.  විටෙක එකී මිනිස් චින්තාවන්ම සමාජ පැවැත්මේ හා මිනිස් සංහතියේ අවසනය දකින්නට පොරකන්නේ ද  මේ මිනිස් වර්ගයාගේ විෂමතාවය කියාපාමිනි. බොහෝවිට මෙම අංශද්වයේ හැරවුම් ලක්ෂය වන්නේ අධ්‍යාපනයයි.
එබැවින් පරිණාමිකව පාසල වෙත පැවරුණු යහපැවැත්ම හා  තොරතුරු වලින් පොහොසත් ප්‍රායෝගික කුසලතා වලින් හෙබි මිනිසෙකු බලගැන්වීමේ කාර්යෙහිලා ගුරුවරයෙකුගේ වගකීම සුවිසල්ය. එහිදී  ළදරු, ළමා, යෞවන අදී අවධි වලින් හමුවන සිසුන්ගේ කායික, ප්‍රජානන, චිත්තවේග හා සමාජමය චර්යා ලක්ෂණ හඳුනාගැනීම ද  ඒ ඒ සිසුන්ගේ විවිධ ආරාත්මක හා පරිසරාත්මක සාධක ද නිසිලෙස හඳුනාගනිමින් ඒවා නිසිපරිදි හැසිරවීම ද ගුරුවරයාගෙන් අපේක්ෂා කෙරේ. පාසල තුළදී මෙන්ම පිටතදී විසල් අන්තර්ක්‍රියා සමූහයකට භාජනය වන පුද්ගල චරිත සඳහා සාර්ථක ඉගෙනුම් ඉගැන්වීම් අවස්ථා සම්පාදනය කළ යුතු වේ. මෙහිලා අධ්‍යාපන මනෝ විද්‍යාවෙන් ගුරුවරයාට ලැබෙන පිටුවහල ඉමහත් ය.
මෙකී ඉගැනුම්-ඉගැන්වීම් කාර්ය සාර්ථක වීම සඳහා අධ්‍යාපනය ලබන්නාගේ චර්යා ස්වභාවයන්  පිළිබදව පූර්ණ අවබෝධයක් ලබා ගැනීම උදෙසා  මනෝ විද්‍යාව පිළිබඳ දැනුම උපකාරීවේ. මෙහිදී ළමයා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම තුළ ඒ ඒ ළමයාට අදාල සුවිශේෂී ලක්ෂණ හා පොදුවේ වයස් කාණ්ඩ වලට අදාල චර්යාරටාවන් අධ්‍යනය කිරීමෙන් ඉගෙනුම් ඉගැන්වීම් කාර්ය නිසි ලෙස හසුරුවා ගැනීමට ගුරුවරයාට අවස්ථාව ලැබේ. අධ්‍යාපන මනෝවිද්‍යාවේදී තවදුරටත් පැහැදිලි කරන පරිදි  ඉගෙනුම ලබන්නා, ඉගෙනුම් ක්‍රියාවලිය, ඉගෙනුම් අවස්ථා විමසීම යන ත්‍රිවිධ අංශ  මනෝ විද්‍යාවේ ප්‍රධාන අපේක්ෂාවන් වේ. එබැවින් මෙහි මූලික වශයෙන් දක්වන ඉගෙනුම ලබන්නාගේ පිළිබඳ අධ්‍යනය ඉගෙනුම් ක්‍රියාවලිය හා ඉගෙනුම් අවස්ථා විමසීම යන කාරණා කෙරෙහි සෘජුවම බල පැවැත්වේ.

වර්තමානය වනවිට පුද්ගල තීරණ කෙරෙහි වැඩිමනක් බලපෑමක් ඇති කරන පුද්ගල භූමිකාවක් ලෙස ගුරු භූමිකාව හඳුන්වාදිය හැක. ගුරුවරුන් වෙතින් ඉගෙන ගන්නා දේ, ඒවා ඉගෙනගන්නා ක්‍රම, දරණ ආකල්ප, විශ්වාස,අගයන් හා චර්යාරටා ඇතුළු මුලු පෞරුෂයම සිසු ජීවිත කෙරෙහි සෘජුවම හා අනියමින්  බලපායි. ගුරුවරුන්ගේ ඇති දුරුවල පෞරුෂ ලක්ෂණ හා සංවර්ධනය විය යුතු පැතිකඩවල් අවබෝධ කර ගැනීමට හා ඒවා නිවැරදි කරගතයුතු අකාරයත් මෙම මනෝ විද්‍යා ඉගැන්වීම් තුළ අඩංගු වේ. සැඑබැවින් ගුරු භූමිකාව අතිශය වැදගත්වූවක් වන අතර එය නිසිපරිදි හැසිරවිය යුත්තකි.අධ්‍යාපන මනෝවිද්‍යාවේ දී පැහැදිලි කරන ඉගෙනුම ලබන්නා, ඉගෙනුම් ක්‍රියාවලිය, ඉගෙනුම් අවස්ථා විමසීම යන ත්‍රිවිධ අංශ  වලට බලපැවැත්වෙන විවිධ වූ ගුරුභූමිකා දැකිය හැකිය. මෙහිදී වඩාත් හොද ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකට කණ්ඩායම් වැඩ හා සිසු ක්‍රියාකාරකම් සංවර්ධන කිරීමට, සමෝදානිත ඉගැනුම් අත්දැකීම් සංවිධනය කරමින් නව ඉගෙනුම් ක්‍රම අත්හදා බලමින් වඩාත් ඵලදායී ගුරුභූමිකාවක් ගොඩනගා ගැනීමට මනෝවිද්‍යාව පිළිබද දැනුම උපකාරීවේ. තවද මව්පිය සම්බන්ධතා හා ඉගෙනුම් සම්පත් කළමණාකරණය කර ගැනීම ද අත්‍යාවශ්‍ය සාධකයකි. තවද පන්තිකාමර විනය පවත්වා ගැනීමටත් ශිෂ්‍ය ගැටළු වලට අවශ්‍ය උපදේශන ලබාදීමටත් ඇගයීම් හා නිවැරදි තක්සේරුවටත් අවශ්‍ය පන්නරය  අධ්‍යාපන මනෝවිද්‍යාව තුළින් ලැබේ. අධ්‍යාපන මනෝවිද්‍යාවේ දී වැඩි දුරටත් පැහදිලි කරන පරදි ගුරුවරුයාගේ භූමිකාව තුළ සිසුවාට අවශ්‍ය සත්කාරක භාවය සැපයීම, උදව් සැලසීම, ක්‍රියාකාරකම් සැපයීම, ජීවන නිපුණතා සඳහා උපදේශනය ලබාදීම හා ඉගෙනුම් පරිසර සම්පාදනය සුවිශේෂී වූ කාර්ය සමුදායකි. තවද අධ්‍යාපනයේ නිශ්චි.අරමුණ සාධනය කර ගැනීම සඳහා  නිවැරදි ආදර්ශ සැපයිය යුතුවන අතර නිවැදි මඟපෙන්වීඹක් තුළ කුසලතා ප්‍රගුණ කරවීම ගුරු කාර්යභාරයකි. තවද ඇති අවම සම්පත් ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් විටෙක සැලසුම්කරුවෙකුලෙස, මාර්ගෝපදේශකයෙකු ලෙස, ඉගෙනුම් අවස්ථා සංවිධානය කරන්නෙකු , තක්සේරුකරන්නෙකු ලෙස  මනා ගුරු සිසු සම්බන්ධතාවයක් ගොඩ නැගෙන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය මඟපෙන්වීම මනෝවිද්‍යාව මඟින් සිදුකරයි. එකී කාර්ය සම්පාදනයෙහිලා සමර්ථ ගුරු භූමිකා උත්තුංග සමාජ මෙහෙවරක් ඉටුකරන ගුරු භූමිකා බවට පත්වේ. එබඳු වන්දනීය වූ ගුරු චරිත අප අධ්‍යාපන ක්ෂෙත්‍රයට විරල වන්නේනම් එය එක්තරා අන්දමකට යාවත්කාලීන නොවූ ගුරු පරපුරක ප්‍රතිළුලයකි. අධ්‍යාපන මනෝ විද්‍යාවේ  දැනුම් සම්භාරය හා  අත්දැකීම් සමූදායක් මතින් හා බොහෝ පර්යෝෂණ ප්‍රතිළුල මතින් ගොඩ නැගුණු මෙම අධ්‍යාපන මනෝ විද්‍යාවෙන් සැබෑ ගුරුභූමිකාවන්ට අවශ්‍ය අත්‍යන්ත මග පෙන්වීම සිදුකරයි. එබැවින් වඩාත් සාර්ථක හා ඵලදායී ගුරු භූමිකාවක් වැඩි දියුණු කර ගැනීමට අධ්‍යා පන මනෝ විද්‍යාව පිළිබඳ දැනුම ගුරුවරයෙකුට මහෝපකාරී වේ.

2 comments:

  1. ගොඩක් ස්තුතියි.

    ReplyDelete
  2. ගොඩක්ම ස්තූතියි. කැම්පස් එකේ assignment එකකට මේ විස්තරය ගොඩක් ප්‍රයෝජනවත් උනා.❤️

    ReplyDelete