Saturday, February 27, 2016

.ප්ලේටෝ විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන චින්තාවන් සමස්ථ පුද්ගල සංවර්ධනයට ඇති සම්බන්ධතාව

.ප්ලේටෝ විසින්   ඉදිරිපත් කරන ලද අධ්‍යාපන චින්තාවන් සමස්ථ පුද්ගල සංවර්ධනයට ඇති සම්බන්ධතාව 
ප්ලේටෝ ක්‍රි. පූ. 427 - ක්‍රි. පූ. 347 අතර ජීවත් වූ ග්‍රීක දාර්ශනිකයෙකි. ඔහුගේ ගුරුවරයා වුයේ සොක්‍රටීස්ය. හෙතෙම බටහිර ලෝකයේ වැඩිදුර අධ්‍යාපනයට පිහිට වූ ප්‍රථම ආයතනයේ එනම් "ද ඇකඩමි" හි පුරෝගාමියා විය.  විඥාන විදියෙකු වූ ප්ලේටෝ  අධ්‍යාපනය සැලසුම් කළ යුත්තේ දිව්‍යමය යථා ඥානය  වටහා ගැනීම සඳහා බව පැවසීය. අධ්‍යාපනය යනු වෘත්තීය පුහුණුවක් යන පටු අදහස බැහැරලූ ප්ලේටෝ පැවසුවේ පුද්ගලයාට පුරවැසිභාවය පිළිබඳ පරිපූර්ණත්වයට ළඟා වීමත්  යුක්ති සහගතව පාලනය කල හැකි ලෙස ලබා දෙන  අධ්‍යාපනය නියම අධ්‍යාපනයයි. එතුළින් පූර්ණ පෞර්ෂයකින් හෙබි මිනිසෙකු බිහිකිරීම අදහස් කළ බව පෙනේ.
අධ්‍යාපනය පැති දෙකකට ක්‍රියාත්මක විය යුතු ක්‍රියාදාමයක් බවත් එය කායික හා මානසික වශයෙන් සමබරව  සංවර්ධනය විය යුතු බව ප්ලේටෝ පෙන්වා දේ. ප්ලේටෝ විසින් පෙන්වා දුන් අධ්‍යාපනයේ  ප්‍රධන අරමුණු තුනකි.
1.   පුද්ගලයාගේ පෞද්ගලික දක්ෂතා හඳුනා ගැනීම.
2.   දැනුම ගවේෂණයට උදව් කිරීම.
3.   සමාජයට අවශ්‍ය ලෙස පුද්ගලයකු සකස් කිරීම.
ප්ලේටෝගේ පැහැදිලි කිරීමට අනුව ළමුන් තුළ මුලින්ම පහල වන හැගීම් වන්නේ වින්දනය, ආශ්වාදය හා වේදනාවයි. එම වින්දනයන් යහපත් ආකාරයට හසුරුවා ගැනීම තුළින්  පූර්ණ පුද්ගල සංවර්ධනයකට මංපෙත් හෙළි කළ හැකි බව පෙන්වා දේ.
තවද මොහුගේ අධ්‍යපන චින්තාවන්ට අනුව අධ්‍යාපනය ව්‍යුහ 03ක් යටතේ විකාශනය වේ. එනම් මූලික අධ්‍යාපනය,ද්විතීක අධ්‍යාපනය හා තෘතීක අධ්‍යාපනය යනුවෙනි.
මූලික අධ්‍යාපනය ලබා දීම කුඩා කාලයේදී ආරම්භ කළ යුතු අතර  ළදරු අවදියේදී මව් පිය සෙනෙහසට අනුගතව නිවසේදී  අධ්‍යාපනය ලැබිය යුතු වේ. එහිදී ප්ලේටෝ පෙන්වා දෙන්නේ ශාරීරික සෞඛ්‍ය, නිවැරදි  යහපත් පුරුදු ඇති කිරීම හා යහපත් ආකල්ප වර්ධනය කිරීම සඳහා  රිද්මයානුකූල ක්‍රීඩා  සෞන්ධර්ය ක්‍රියාකාරකම් පුහුණු කළ යුතුය. තවද මුලික අධ්‍යාපනය ඉතා වැදගත් බවත් එය ගැහැණූ පිරිමි දෙපක්ෂයටම ලබා දිය යුතු බව ප්ලේටෝ පෙන්වා දේ.

ද්විතීයක අධ්‍යාපනය ලබාදීමේදී කිසියම් තේරීමකට යටත්ව  ගණිතය, ජ්‍යාමිතිය, තාරකා විද්‍යාව, තර්ක ශාස්ත්‍රය සහ සංගීතය ඉගැන්වේ. පුද්ගලයාගේ බුද්ධි වර්ධනය සඳහා භාෂා ඥානය  ගණිත ඥානය බෙහෙවින් ඉවහල් වන බව ප්ලේටෝ ප්‍රකාශ කරයි.  ඔහු යෝජනා කර ඇති උසස් අධ්‍යාපන අවධිය අවුරුදු 30-50 වන පාලකයන් සඳහා වූවකි. මෙය යාවජීව අධ්‍යාපනයේ අවශ්‍යතාව කියාපාන්නකි. මෙහිදී භෞතික ලෝකයේ ප්‍රපංචයන් වටහා ගෙන අභෞතික සංසිද්ධීන්  පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙමගින් අපේක්ෂා කළ බව පෙනේ. ප්ලේටෝගේ අධ්‍යාපනික චින්තාවන් තවදුරටති විමසීමේදී පෙනී යන්නනේ සුදුසු පරිණතියන් එළබෙන තුරු අදාල සංකල්ප පමණක්  ශිෂ්‍යාට ලබාදියුතු බවයි. වර්තමාන අධ්‍යාපන රටාවට එය හොඳ ආදර්ශයකි. එතුළින් පෞර්ෂයට හානි වීම වැලැක්වෙන අතරම සංකල්ප නිසි කලට නිසි පරිදි අවබෝධ කරගැනීමේ සක්‍යතාව සිසුන්ට ලැබේ. තවද එය ගැහැණු පිරිමි දෙපක්ෂයටම නිසි කල ලබාදිය යුතු බව ප්ලේටෝ අවධාරණය කර ඇත. තවද ළමුන්ට අධ්‍යාපනය ලබා දීමේදී ඔවුන්ගේ රුචිකත්වයන් හා ප්‍රබෝධයන් භාවිතයට ගත්යුතු බව පෙන්වා දේ. මෙහිදී සංගීතය, නාට්‍ය,රඟපෑම, අනුකරණය, කථාන්දර කී වැනි ශිල්පීය ක්‍රම භාවිතා කළයුතු බව ප්ලේටෝ පෙන්වා දේ. මේ නයින් ගත් කළ ප්ලේටෝගේ අධ්‍යාපන චින්තනය තුළ යම් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ අන්තර්ගත වුවත් තත් කාලීන සමාජ තත්වයන් අධ්‍යන කිරීමේ දී එම සමාජ රාමුවට ගැලපෙන පරිදි පුද්ගලයා සංවර්ධනය කිරීමටත්, එම සංස්කෘතික රාමුව දිගුකාලයක් පවත්වා ගැනීමත් අපේෂාවෙන් මෙම චින්තාවන් බිහි කළබව පෙනේ. වත්මන් අධ්‍යාපන හා පුද්ගල සංවර්ධනය ගැන විමසීමේදී ප්ලේටෝගේ න්‍යායන් හා චින්තාවන් අද දවසට ගැලපෙන අයුරින් හැඩ ගස්වා ගෙන ඇත. මෙහිදී විෂය මාලාව පොදු වියයුතු බවත්, එය ගැහැණු පිරිමි දෙපක්ෂයටම පොදු විය යුතු බවත් වයසට හා ලැදියාවන්ට අනුරූප වියයුතු බවත් ඔහු විසින් දක්වා ඇත. නිවැරදි පුහුණුවක් හා මගපෙනවිමක් යටතේ පුද්ගලයාට මඟ පෙනවීම තුළින් සමස්ත පුද්ගල සංවර්ධනයක් කරා මෙහෙය වීමට ප්ලේටෝගේ අධ්‍යාපන චින්තනයෙන් මනා පිටුවහලක් ලැබෙන බව මින් පැහැදිළි වේ.

No comments:

Post a Comment